ඔබට විරහ ගිනි නොගෙනේවා...



මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ තමන් දැකපු හීන ලස්සනට පාට කරලා අනුන්ට දීපු අය. ජීවිතේ කියන්නේ ලැබීම් වලට වඩා නොලැබීම් වලට. මේ අහස යට, මේ පොළව මත කොයි තරම් නම් ප්‍රේම කතා තිබුනත් ඒ කතාව හැබෑවක් වෙලා රන් හුයෙන් දෑගිලි බදින්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...


ආදරේ සැබෑ ස්වරූපය දකින්න ලැබෙන්නේ දිනුවොත් නෙමෙයි. පැරදුනොත්... අන්න එදාට තමා සැබෑ ආදරේ දකින්න පුළුවන්. තමන් පණ වගේ ආදරේ කල යුවතිය තව පිරිමියකුගේ පතිණිය වෙලා යන දවසට තමන්ගේ ආදරේ ගැන හිතලා සතුටු වෙන්න හැමෝටම බෑ. ඇත්තටම ආදරේ කියන්නේ අයිති කරගන්න එකට නෙමෙයි. ඒත් අපිට බැරිත් එහෙම හිතන්නයි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...

මතකයන් ගොඩක් වෙලාවට හිතට එන්නේ මහ රෑට. ඒ වෙලාවට විතරයි අපිට මතකය මගෑරලා යන්න බැරි. මතකයන් එක්ක කොයිතරම් අපි අසරණ වෙනවද..??? මම අසරණ උනත් ඒ මතකය ඔබට දුකක් නොගෙනේවා. මේ කාරණාවම බන්ධුල නනායක්කාරවසම් ප්‍රවීන රචකයාත් කියනවා
" සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්..
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
තව කුමකට ද දුක් ගී කල්පනාවන්..."
අපේ මතකය ඔබට දුකක් නෙමෙයි නම්, මම වගේම ඔහුත් ඔබට ආදරය කරනවා නම්, කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ඊට වඩා දෙයක් මට ඕනේ නෑ.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...

විවාහය.. එක්කෝ හරියන තැන. නැත්තම් වරදින තැන. හැමදේම නැති වෙලා ජීවිතය කලුවරටම වැටිලා තියෙද්දිත්, මාව දාලා ගිය ඔබට වරදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරම් ආදරණීය ප්‍රා‍ර්ථනාවක් කරන්න පුළුවන් සැබෑම ආදරවන්තයෙකුට විතරයි.
ආදරය වෙනුවෙන් කැප වෙන මිනිස්සු සංසාරේ කොතනක හරි සැනසෙනවා....❤️
අහලා බලන්න....
-කණිෂ්ක මීගස්මුල්ල-

ගායනය - පණ්ඩිත් W D අමරදේව ශූරීන්
පද - ආචාර්‍ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන්


https://youtu.be/XKS97m67Mv0 


ඔබට විරහ ගිනි නොගෙනේවා...


Comments