අසුරු සැණින් එක මොහොතකදී

කාලෙකට පස්සේ අහම්බෙන් ඇහුණු මේ සිංදුව, සමහර අය නම් අහලත් නැතුව ඇති.

මේ ගීතය ලිව්වේ ගුවන් විදුලියේ කුසුම් පීරිස් මහත්ම්ය.
ඒ බොහොම සමීප වුණු ජීවිත අත්දැකීමක් එක්ක.
ඒ කතාව ඔබට කියන්න මං හිතුවා.


එකට වැඩ කරණ, නිතර දකින අය අතර සම්බන්ධකම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ගුවන් විදුලියෙත් කාලෙකට කලින් මේ Set එකේ ගොඩක් දෙනෙක් හිටියා.
මේ අතර හිටපු එක් තරුණයෙකුටත්, තරුණියකටත් හැමෝම විහිලු කලා,මේ දෙන්නා අතර සම්බන්ධයක් තියනවා කියලා.


ඒත් ඒ දෙන්නා යාලුවෝ විතරයි. කෑවේ බිවේ එකට. ගමන් ගියේ එකට. කොටින්ම හැම දේකදිම.. හැම තැනකදිම.. එකට හිටියා.


මෙහෙම කාලේ ගෙවිලා යද්දි අර තරුණයට විදේශ පුහුණුවකට යන්න වෙනවා හදිස්සියෙම.
ඔහු රට යනවා. ඒ අතරේ තරුණියට, ගෙදරින් ගෙනාපු යෝජනාවකින් විවාහ වෙන්න වෙනවා. ඉස්සර දැන් වගේ mobile phone, facebook නැති නිසා දෙන්නා අතර කතාවක් නැති උනත්, තරුණිය ගොඩක් දුකින් රස්සාවටත්, යාලුවන්ටත්, පරණ මතකයටත් සමුඳීලා...විවාහ වුනා.


කාලෙකට පස්සෙ තරුණයා පුහුණුව නිමා කරලා ආයෙත් රස්සාවට ආවා.
ඒ ආවාමයි ඔහු තරුණියගේ විවාහේ දැනගන්නේ.
ඔහු ලොකු කම්පණයකට පත් වෙනවා. මේ දෙන්නාගෙම කතාව දන්න කුසුම් පිරිස් මහත්මියට,ගොඩාක් දුකින් ඔහු කියනවා " ලෝකේ නතර වෙලා ආයෙත් පටන් ගත්තොත්, මං මුලින්ම කරන්නේ ඇයට ආදරෙයි කියන එක... " කියලා. ඒත් ඒ වෙද්දී මේ ආදර කතාව ආයෙත් ගේන්න බැරි තරම් දුරකට ගිහින්...


ආයෙත් ඔහුට ඇය හම්බවෙන්නෑ...


"අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා...
ඔබේම වී මා මගේම වී ඔබ,
අපේම වී අප ඉපදේවා..."


මුවින් නොකිව්වත් හදවතින් කී ආදර කතාවේ ඇයත් හැමෝගෙම විහිලු මැද ගොඩාක් ප්‍රාර්ථනා පුරන්න ඇති...

"යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට...
මතු යම් දවසක හැකි වේවා...
ඔබේම වී මා මගේම වී ඔබ,
අපේම වී අප ඉපදේවා..."


සෙනෙහෙ විමානේ කිරුළ දරා , ජීවිතේ වටිනාම දේ ඔහුත් එක්ක බෙදා ගන්න කොයි තරම් නම්, හීන තියෙන්න ඇත්ද...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට ....
එක සෙවණකදී හමුවේවා...
ඔබේම වී මා මගේම වී ඔබ,
අපේම වී අප ඉපදේවා......


ඒත් ඒ ආයෙත් ඉපදුනොත් විතරයි...
(ගායනය: යමුණා විනෝදනී මහත්මිය)

Comments