පැන්ඩෝරා ලේඛණ වල තිබූ ලාංකික නම






ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති අදාළ ලිපිගොනු මගින් වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමත් සඳහන් වෙයි.

ඇය සහ ඔහුගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් එක්ව පිහිටවූ සමාගමක් හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් වී තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඔවුන්ගෙන් ඒ පිළිබඳව විමසූ විට ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බවය.

මේ අතර ජෝර්දාන් රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති වැලැඩ්මියර් පුටින්, චෙක් අගමැති ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකයින් සහ දේශපාලඥයින්ගේ රහසිගත වත්කම් පිළිබඳ මෙමගින් හෙළිදරව් වී තිබේ.

බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කිරීම සම්බන්ධයෙන් ජෝර්දානයේ රජු පිළිබඳව පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළිදරව් කර ඇති බවත් සඳහන් ය.

ඒ අනුව, පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කෙරුණු ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන්නේ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුගේ නමය.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳවද ආදාළ ලේඛන මගින් හෙළිදරව් කර ඇත.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් මෙහි තොරතුරු ඇතුළත් ය.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කර තිබුණි.

රුසියානු ජනාධිපති පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ පිහිටි රහසිගත දේපළ පිළිබඳ ඉන් අනාවරණය කර තිබුණි.

වසර 07ක කාලයක් තුළ නිකුත් වූ ලිපි ලේඛන පිළිබඳව, ගවේෂණත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරව් කිරීම් සිදුකර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Comments